ජපනුන්ගේ හිත දිනාගමු

“In Rome do as Romans do” කියලා ලෝක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. සිංහලෙන් තේරෙන්න කියනවනම් “වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා හිටපන්” වගේ දෙයක්. අපි කිසියම් ජාතිය හා සම්බන්ධතා ඇති කර ගැනීමේදී, ඔවුන්ගේ සංස්කෘතීන්, ජීවන රටා හා ඔවුන් ප්‍රිය කරන දෑ අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.  ජපානය, එහි තිබෙන පොහොසත් සම්ප්‍රදායන් සහ කුඩා දේවල් වලටත් අවධානය යොමු කිරීම වැනි කාරණා නිසා, සබඳතා ගොඩනගා ගැනීමේදී ඔවුන්ගේම ක්‍රමයක් පිලිපදිනවා.  ශ්‍රී ලාංකිකයන් ලෙස අප එතරම් අවධානයක් ලබා නොදුන්නද, ජපන් ජාතිකයන්ගේ හිත දිනාගැනීමේදී පිලිපැදිය යුතු අංග කිහිපයක් දෙස අද අවධානය යොමු කරමු. 

1.සුවඳවිලවුන්

ජපන් ජාතිකය කියන්නෙ, විශාල වශයෙන් අන් අය ගැන හිතන, අන් අයට කරදරයක් නොවන ආකාරයට ජීවත් වන මිනිසුන් කොට්ඨාශයක් බව අපි හැමෝම දන්නා කරුණක්. ඉතින් මොවුන් සුවඳවිලවුන් භාවිතා කිරීමේදී උනත් ඒ සුවඳ අන් අයට අපහසුවක්, කරදරයක් නොවන ආකාරයේ සුවඳ සහිත සුවඳවිලවුන් භාවිතා කිරීමට වග බලාගන්නවා. ජපන් ජාතිකයන් කියන්නෙ සුවඳවල් වලට ගොඩක් සංවේදී මිනිසුන් කොට්ඨාශයක්. ඒ නිසා ඔවුන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ සැර අඩු ඉතා අඩු  සහ නැවුම් සුවඳක් සහිත සුවඳවිලවුන් වලට.

 ජපානයේ පුද්ගලයින් ප්‍රධාන වශයෙන් සුවඳවිලවුන් වර්ග 2ක් භාවිතා කරනව.

Office Perfume.

Bvlgari pour homme

Shiro perfume parisian shirt
Clean Classic Shower fresh

 2.  Dating Perfume (ඇතැම් විට ෆෙරමෝන සහිත සුවඳවිලවුන්)

Shiseido
Issey Miyake
Hanae Mori

ඉතින් ජපානයේදි ඔබ සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කරනවනම්, මේ අවස්ථා දෙකට ගැලපෙන, ඉතා අඩු නැවුම් සුවඳක් සහිත සුවඳවිලවුන් වර්ග භාවිතා කිරීම ජපන් ජාතිකයන්ගේ හිත දිනාගැනීමට කාරනාවක් විය හැකියි.

(ඔබ සුවඳවිලවුන් වර්ගයක් භාවිතා කරන්නෙ නැත්නම් ඔබ රෙදි සේදීමේදී හොඳ Fabric conditioner වර්ගයක් භාවිතා කිරීම සිදු කරන්න පුලුවන්. මොකද මේවායෙන් එන සුවඳට ජපන් ජාතිකයින් වැඩි රුචියක් දක්වනවා. https://coloria.jp/magazine/articles/jiNsp)

2.රැවුල

ශ්‍රීලාංකික අපට අනුව රැවුල කියන්නෙ පිරිමිකමේ සංකේතයක්. “රැවුල නැත්නම් වැඩක් නැහැ”, “පිරිමියෙක්නම් රැවුල තියෙන්න ඕනි” කියන්න තමා ශ්‍රී ලාංකික අපි පුරුදුවෙලා ඉන්නෙ. ඒත් ජපාන් ජාතිකයින් රැවුල ගැන බලන්නෙ හාත්පසින්ම වෙනත් විදියකට. ජපන් ජාතිකයින්ට අනුව රැවුල කියන්නෙ අපිරිසිදු කමේ සංකේතයක්. බොහෝ ජපන් ජාතිකයින්ට රැවුල නොපිහිටන අතර, රැවුල තියෙන ජපන් ජාතිකයින් නිතරම රැවුල සම්පුර්ණයෙන් කැපීම හෝ පිළිවෙලකට කැපීමට වගබලාගන්නව. ඉතින් ඔබ ජපානයේ ජීවත් වන්න අදහස් කරන් ඉන්නවනම්, සෑම විටම ඔබේ රැවුල මුඩු කර තබාගැනීමට වගබලාගන්න. එසේත් නැතිනනම් එය හොඳින් කපා පිළිවෙලට තබා ගැනීමට වගබලාගන්න.

3.වෙලාව

“ජපන්නු වෙලාවට වැඩ” කියනදේ ලංකාවෙ අපි කවුරුත් දන්න, ඒත් ලංකාවෙ අපි කවුරුවත් නොකරන දෙයක්. එහෙත් ඔබ ජපන් ජාතිකයින් හා සම්බන්ධකම් පවත්වනවානම්, මේ වෙලාවට වැඩ කිරීම හරියටම සිදු කිරීමට වගබලාගන්න වෙනව. ජපන් ජාතිකයෙක්ට ඔබ වෙලාවට යමක් කරන ලෙස පැවසුවොත්, ඒ වෙලාවට විනාඩි 5ක් වත් කලින් ඒ දේ කිරීමට ඔබ වග බලාගන්න ඕනි. ඔබ කොහේ හෝ යන්න වෙලාවට පැමිණෙන බව කීවොත්, ඊට විනාඩි 10කටවත් කලින් ඒ ස්ථානයට පැමිණෙන්න වග බලාගන්න. කිසියම් හේතුවක් නිසා ඔබට ඒ වේලාවට පැමිණීමට නොහැකිනම්, පුලුවන් තරම් කල් වේලා ඇතුව ඒ පුද්ගලයාව දැනුවත් කර, සමාව ඉල්ලීමට වග බලාගන්න. 

4. ඇඳුම පැලඳුම

ජපන් ජාතිකයින් සාමාන්‍යෙන් ඇඳුමක් ඇඳීමේදී උනත්, පිලිවෙල, අන් අයට ඒ ඇඳුමෙන් අපහසුතාවයක් නොවීම වගේ දේ ගැන හිතන ජාතියක්. බොහෝ විට ජපන් ජාතිකයින් කලුපාට හෝ, ලා පාට ඇඳුම් (Pastel color) ඇඳීම ප්‍රිය කරන අතර, ඉතාමත් දීප්තියක් දෙන ඇසට අමාරු වර්ණ සහිත ඇඳුම් ඇඳීම ඉතා අඩු වශයෙන් සිදු කරයි. ඇඳුම් වල වර්ණය මෙන්ම, ඉතා විශාල රූප සහිත, හෝ  ඒ ආකාරයේ මෝස්තර සහිත ඇඳුම් වලට ප්‍රිය නොකරයි. එම නිසා ඔබ ජපානයේ ජීවත් වීමට අදහස් කරන පුද්ගලයෙක්නම් මේ ආකාරයේ ඇඳුම් හැකිතාක් භාවිතා කිරීමට වගබලාගන්න. හැකිසැම විටම තැලුණු පොඩි උණු ඇදුම් ඇදීමෙන් වලකින්න. ඔවුන් එයින් ඔබ කිසි පිළිවෙලක් නැති පුද්ගලයෙක් ලෙස විනිශ්චය කරනු ලබයි.

5. තෑගි ලෙස කෑම ලබාදීම

ලංකාවෙ අපට විශාල වශයෙන් පිහිටල තියෙන දෙයක් තමා අපේ ආගන්තුක සත්කාර. ශ්‍රී ලාංකික අපි හරි කැමති දෙයක් තමා අපේ අතින් හදන කෑමක්, අපේ ගෙදර හදන කෑමක්, තව කෙනෙක් එක්ක බෙදා හදාගෙන කෑම. ඒ නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් සිදු කරන ක්‍රියාවක් තමා ජපන් ජාතිකයන් හට අපගේ කෑම ලබා දීම.  ඒත් අපි ජපන් ජාතිකයින්ට කෑමක් දෙනවනම් අපි හදන කෑමක් ඉතා සමීපතම ජපන් මිතුරන්ට ඇරෙන්න අනෙක් අයට ලබා දීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද ජපන් ජාතිකයන් විශාල වශයෙන් පිරිසිදු කම ගැන සහ, කෑම ගැන හිතන ජාතියක්. එම නිසා ඔවුන් සීල් කරපු නැති බහාලුම් වල තිබෙන කෑම කෑමට එතරම් වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ.

ඔබට තෑග්ගක් විදියට ජපන් ජාතිකයෙක් හට කෑමක් ලබා දීමට අවශ්‍යනම්, යම් කිසි ස්ථානයකින් මිලදී ගත්, සීල් කරනලද භාජනයක තිබෙන කෑමක් ඔවුන්ට ලබා දෙන එක තමා වඩාත් උචිත වෙන්නෙ.

6.කෑම සුවඳ

කෑම සම්බන්ධ තවත් දෙයක් නම්, අපගේ කෑම වල සුවඳ. 

ජපානයේ තිබෙන ගෙවල් ඉතාමත් කුඩා සහ, මෙම ගෙවල් නිතරවම සංවෘතව තිබීම නිසා අප කෑම පිසූ විට එහි ඇති සුවඳ අපේ ඇඳුම්, ඇඟේ හෝ කොණ්ඩයේ රැඳී තිබෙන්න පුලුවන්. ඉතින් මිනිසුන්ගෙන් මේ සුවඳ හමනවට ජපන් ජාතිකයන් එතරම් කැමත්තක් දක්වන්නේ නැහැ.

ඔබ කෑම පිසූ පසු නිවසින් පිටතට යෑමට අදහස් කරන් සිටින්නේනම්, මතක ඇතුව ස්නානය කර, පිරිසිදු වී, වෙනත් ඇඳුමක් ඇඳගෙන යෑමට වගබලාගන්න. මොකද අපගේ නාසය ඒ සුවඳට හුරුවී තිබෙන නිසා අපට ඒ සුවඳ නොදැනුනද, වෙනත් කෙනෙකුට ඒ සුවඳ හොඳින් දැනෙන්න පුලුවන්.

ඊට අමතරව ඔබේ මුළුතැන්ගෙයි Ventilation  පද්ධතියක් තිබේනම්, කෑම  පිසීමේදී එය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්නත් අමතක කරන්නෙපා. 

7.මුදල් ඉල්ලීම.

ශ්‍රී ලාංකිකයන් විසින් සිදුකරන තවත් නරක දෙයක් තමා ජපන් ජාතිකයන්ගෙන් මුදල් ණයට ඉල්ලීම. ඔබ ජපන් ජාතිකයෙක් සමඟ කොතරම් ලඟින් සම්බන්ධකමක් තියාගත්තද, කවදාවත් ඔහු/ඇය ගෙන් මුදල් ණයට ඉල්ල්ලීම සිදු කිරීමෙන් වලකින්න. මොකද  ඔබගේ ඒ හිතවත්කම නැතිවී යාමට එලෙස මුදල් ණයට ඉල්ලීම පමණක්ම ප්‍රමාණවත් වෙන්න පුලුවන්.

ඔබට කුමක් හෝ මුදල් ප්‍රශ්ණයක්  ඇත්නම්, මුදල් ණයට ගන්න ආයතන පිලිබඳ දැනගැනීම හෝ එවැනි ආයතනයකින් මුදල් ණයට ගන්නා ආකාරය වැනි දෑ ගැන ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම පමණක් සිදුකිරීම හැර, ඔවුන්ගෙන් මුදල් ඉල්ලීම හෝ, ඔවුන්ගෙන් මුදල් බලාපොරොත්තුවීම සිදු නොකරන්න.

8.සත්කාරක පවුල

ඔබ ජපානයේ ජීවත් වනවිට ඔබට සත්කාරක පවුලක් (Host Family) , එසේත් නැතිනම් ඔබ ජපානයේදී  ඔබේ අම්ම තාත්ත වගේ කියල සලකන පවුලක් සිටිනවානම් එය ඔබගේ වැඩ කටයුතු  වලට ගොඩක් වාසිදායක වන දෙයක් වීමට පුලුවන්. ජපන් ජාතිකයෙක් නිතරම විශ්වාස කරන්නෙ තවත් ජපන් ජාතිකයෙක්. ඉතින් ඔබගේ සත්කාරක පවුලෙ කෙනෙක් ඔබව තවත් ජපන් ජාතිකයෙක්ට හඳුන්වාදෙනවනම්, ඔවුන් බොහෝවිට ඔබඩ හිතවත් වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඉතින් ඔබට  ජපන් ජාතික පවුලක් ඔබේ සත්කාරක පවුලක් ලෙස සම්බන්ධතාවය තබාගැනීමට හැකියාවක් තිබේනම්, එය ඔබේ අනාගතයට ගොඩක් පිටිවහලක් වෙන දෙයක් වීමට පුලුවන්. 

9.ජපන් ආහාර

ශ්‍රී ලාංකිකයන් ලෙස අප ජපානයට ගිය පසු, ජපන් ආහාර වලට සහ ඔවුන්ගේ මත්පැන් වලට අනුගත වීමට අපට තරමක් කාලයක් ගතවෙනවා. ඉතින් ඒ කාලය අතර තුර අපි ජපන් ජාතිකයින් හට “අපි ජපන් කෑම වලට අකමැතී” , “අපි ජපන් කෑම කන්නැහැ, ලංකාවෙ කෑම විතරයි කන්නෙ” වැනි දෑ පැවසීම සිදු නොකළයුතු දෙයක්. ජපන් ජාතිකයන් තමන්ගෙ ආහාර සංස්කෘතිය පිළිබඳව මහත් ආඩම්බරයෙන් ජීවත් වන ජාතියක්. ඉතින් අප මෙලෙස ප්‍රකාශ කර ඔවුන්ගේ හිත් රිදවීම, ඔවුන්ගේ හිත දිනා ගැනීමට නොහැකි වීමට කාරණයක් වෙන්න පුලුවන්. 

10.මත්පැන්

ජපන් ජාතිකයන් මත්පැන් දෙස බලන්නෙ ශ්‍රීලාංකිකයන් බලනවට වඩා හාත්පසින්ම වෙනස් විදියකට. ලංකාවෙ මත්පැන් යනු සමාජයෙන් කොන් කල දෙයක් ලෙස සැලකුවද, ජපානයේ එය දීර්ග ඉතිහාසයක් හා සම්ප්‍රදායක් තියෙන දෙයක්. ජපන් ජාතිකයන් ගැහැනු පිරිමි භේදයකින් තොරව මත්පැන් භාවිතා කරන ජාතියක්. ඉතින් ඔබ ජපන් ජාතිකයන් සමග, “මම මත්පැන් භාවිතා කරන්නෑ” , “මම බොන්න කැමති නැහැ” යනුවෙන් පවසන්න සිතා සිටිනවානම් එය එතරම් හොඳ ක්‍රියාවක් නොවේ. එසේ නොබී සිටිනවානම් එයට හේතුව ඔවුන්ට පැහැදිලිව ප්‍රකශකර සිටින්න. 

ඔබ ජපානයේ ජීවත් වීමට අදහස් කරනවානම්, ගැහැනු පිරිමි භේදයකින් තොරව  අඩුම තරමේ, බීර හෝ වයින් පමණක්වත් තරමකට භාවිතා කිරීමට වගබලාගන්න.  

ඒ වගේම ජපන් ජාතිකයන් කොතරම් මත්පැන් පානය කලද ඔවුන් කිසිවිටෙක ගැටුම් ඇතිකරගැනීමට උත්සාහනොකරයි. එම නිසා ඔබ යහමින් මත්පැන් පානය කරන කෙනෙක්නම් තමන්ගේ නම්බුව රැකෙන විදියට එය කිරීමටත් වගබලා ගන්න.

11.ඉරියව්ව

ජපන් ජාතිකයින් තමන්ගේ ඉරියවට වැඩි අවධානයක් ලබාදෙන ජාතියක්. ශ්‍රී ලාංකිකයන් ලෙස අප එතරම් අවධානයක් නොදුන්නද, ජපානයේ ජීවත් වන ඔබ, ඔබගේ ඉරියවුව්ව නිසි පරිදි පවත්වාගැනීම ජපන් ජාතිකයන්ගේ සිත දිනාගැනීමට කාරණාවක් විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *