අද දින (2024.01.01) දින සවස 4.101 ට පමණ බටහිර ජපානයේ රික්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක් ඇති වූ අතර, ජපානයේ බලපෑමට ලක් වූ වෙරළබඩ ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස නිවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව, ඉෂිකාවා ප්‍රාන්තයේ ඇනමිසු සිට කිලෝමීටර් 42 (සැතපුම් 26) ඊසාන දෙසින් සහ කිලෝමීටර් 10 (සැතපුම් 6) පමණ ගැඹුරකින් සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇත.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය බටහිර ජපානයේ වෙරළබඩ ප්‍රදේශවලට වහාම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මිනිත්තු 10කට පසුව පළමු රළ වෙරළට ළඟාවන බව වාර්තා විය. ජපාන මහජන විකාශක (NHK) පවසන පරිදි, සවස 4:21 ට පමණ මීටර් 1.2 (අඩි 3.9) පමණ උස සුනාමි රළ ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයෙන් පළමුවෙන්ම වාර්ථා විය. ක්ෂණික හානි වාර්තා වී නොමැත.
ඉෂිකාවා හි සුසු නගර නිලධාරීන් ට අනුව ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර තුවාල ලැබූවන් පිළිබඳව වාර්තා වී ඇති බවයි. නගරයේ පොලිසිය පවසන පරිදි සමහර පුද්ගලයින් හානියට පත් නිවාසවල සිරවී සිටින බව NHK වාර්තා කරයි. මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.
ජපානයේ ෂින්කන්සෙන් බුලට් දුම්රියවල සමහර සේවා අත්හිටුවා ඇති අතර හොකුරිකු විදුලි බල සමාගමට අනුව භූමිකම්පාවෙන් පසු ඉෂිකාවා ප්‍රාන්තයේ නිවාස 32,500 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇත.

ජපානයේ කන්සායි විදුලි බල සමාගම X හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරවල කිසිදු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති බවයි.
ඉෂිකාවා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශකයෙකුට අනුව 2011 වසරෙන් පසු නිකුත් කරන ලද පළමු විශාල සුනාමි අනතුරු ඇඟවීම මෙයයි.
ජපානයේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය යටතේ, මීටර 1 ට වඩා අඩු තරංග “සුනාමි උපදේශනය” යටතේ වැටෙන අතර, මීටර් 3 ට වඩා වැඩි බලාපොරොත්තු වන තරංග “සුනාමි අනතුරු ඇඟවීම” යටතේ වැටෙන අතර මීටර් 5 ට වැඩි තරංග “විශාල සුනාමි අනතුරු ඇඟවීම” යටතේ වැටේ.

ඉදිරි දින තුනේ සිට සතියක කාලයක් තුළ ප්‍රබල පසු කම්පන ඇති විය හැකි බවට එරට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇති අතර, ගොඩනැගිලි කඩා වැටීම් සහ නායයෑම් පිළිබඳව අනතුරු අඟවා ඇත.
විපතට පත් ප්‍රදේශවල සිදුවිය හැකි හානිය තක්සේරු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පැවසීය.
