විචිත්‍රවත් සහ විවිධ උත්සව සඳහා ජපානය ඉතා ප්‍රසිද්ධය, ජපානයේදී මෙම උත්සව “මට්සුරි” ලෙස හැඳින්වේ. වසර පුරා, රටේ සෑම ප්‍රදේශයකම පැවැත්වෙන මෙම උත්සව ගැඹුරු සාම්ප්‍රදායික හා අධ්‍යාත්මික උත්සව වල සිට නවීන සැමරුම් දක්වා විහිදෙන අතර, ඒ සෑම එකකම අද්විතීය ආකර්ෂණයක් සහ වැදගත්කමක් ඇත.
ගියොන් මට්සුරි (Kyoto)

ජූලි මාසය පුරාවට පවත්වන මෙම උත්සවය ජපානයේ විශාලම සහ ප්‍රසිද්ධම උත්සවයයි. වසර දහසකට වඩා පැරණි මෙම උත්සවය ”යමබෝකෝ” ලෙස හැඳින්වෙන දෝලා පෙරහැරකින් සමන්විත වන අතර, විශිෂ්ට ශිල්පීය හැකියාවන් සහ මෝස්තර ප්‍රදර්ශනය කරයි. මෙම උත්සවය රෝග ඇතිවීමේ ආත්ම පලවාහැරීම අරමුණු කරගෙන සිදුකරයි.
අවා ඔදොරි (Tokushima)

ඔබොන් සමයේ පැවැත්වෙන අවා ඔදොරි යනු ජපානයේ විශාලතම නර්තන උත්සවයයි. අගෝස්තු මාසයේ 12 සිට 15 දක්වා පවත්වන මෙම උත්සවයේදී, සහභාගිවන්නන් සහ නරඹන්නන් ෂිකෝකු දූපතේ ටොකුෂිමා නගරයේ වීදිවල සාම්ප්‍රදායික නර්තන ප්‍රසංග සිදුකරයි. මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් වසරේ දින කිහිපයක් ඔවුන්ගේ ජීවත්වන ඥාතීන් වෙත පැමිණෙන ලෙස ආරාධනා කල බොන් ඔදොරි උත්සවයෙන් මෙය පැවත එන බව පැවසේ.
සප්පොරො හිම උත්සවය (Sapporo)

මෙම උත්සවය විශාල හා සංකීර්ණ ලෙස කැටයම් කරන ලද අයිස් සහ හිම මූර්ති ප්‍රදර්ශනයකි. පෙබරවාරි මාසයේ පවත්වන මෙම උත්සවය, ඔඩෝරි උද්‍යානයේ සුසුකිනෝ සහ ට්සු ඩෝම් හි පවත්වයි. මෙය නැරඹීමට මිලියන ගණනක පිරිසක් සෑම වසරකම පැමිණෙන අතර මෙම වසරේද පෙබරවාරි 4 සිට 11 වැනි දින දක්වා පැවැත්වේ.
කන්දා මට්සුරි (Tokyo)

තෝකියෝහි ප්‍රධාන ශින්ටෝ උත්සව තුනෙන් එකක් වන මෙම උත්සවය මැයි මස මැද භාගයේදී කන්දා මයෝජින් සිද්ධස්ථානයේ දී පැවැත්වේ. අතේ ගෙන යා හැකි සිද්ධස්ථාන (මිකෝෂි), සංගීතය සහ සාම්ප්‍රදායික ප්‍රසංග ඇතුලත් පෙරහැරක් මෙම උත්සවයට ඇතුළත් වේ. 17 වන ශතවර්ෂයේ මුල් භාගයේදී සෙකිගහරා සටනේදී ටොකුගාවා ඉයසු ජයග්‍රහණය සැමරීමක් ලෙස ආරම්භ වී ඇති මෙම උත්සවය මේ දක්වා දිගටම පැවතගෙන විත් ඇත.
නෙබුතා මට්සුරි (Aomori)

අගෝස්තු මස මුලදී පවත්වන මෙම උත්සවය අඔමොරි නගරයේ වීදි හරහා යන රණශූර රූප සහ මිථ්‍යා ජීවීන් නිරූපණය කරන විශාල ආලෝකමත් දෝලා වලින් සමන්විත පෙරහැරකි.
හකතා ජිඔන් යමකස (Fukuoka)

කර මත රැගෙන යන දෝලා තරඟයකින් සමන්විත මෙම උත්සවය ෆුකුඕකා හි හකාතා දිස්ත්‍රික්කයේ වීදි හරහා පැවැත්වේ. ජූලි මාසයේ සති දෙකක් පුරාවට පැවැත්වෙන මෙම උත්සවය, රෝග පැතිරීම වැලැක්වීම අදිටන් කරගෙන පවත්වයි.
සන්ජා මට්සුරි (Tokyo)

මැයි මාසයේදී අසකුසා සිද්ධස්ථානයේදී පවත්වන මෙය තෝකියෝවේ මහා ෂින්ටෝ උත්සව තුනෙන් එකකි, එය සජීවී වාතාවරණය, සාම්ප්‍රදායික සංගීතය සහ නැටුම් සහ මිකෝශි පෙරහැර සඳහා ප්‍රසිද්ධය. සෙන්සොජි සිද්ධස්තානයේ ආරම්භක තිදෙනාට ගෞරවයක් වශයෙන් මේ උත්සවය සිදු කරයි.
